පරිගණක හාර්ඩ්වෙයාර් පාඩම් මාලාව 03


මෙම ලිපි පෙළ ප්‍රියන්තගේ “මගේ මතක“ බ්ලොග් පෝස්ට් එකෙහි පළවු ලිපි පෙළකි.  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය හදාරණ සිසුන්ගේ වැඩිදුර කියවීම් වෙනුවෙන් ඔහුගේ පූර්ණ අවසරයෙන් මෙහි පළකරමි.


ප්‍රියන්තගේ “මගේ මතක“ බ්ලොග් පෝස්ට් එක බැලීමට 


Computer Hardware පාඩම 03....ආරක්‍ෂාව (Safty)


 පළමුවැන්න වශයෙන් මම ඉතා කෙටියෙන් අපේ ආරක්‍ෂාව ගැනත් දෙවනුව පරිගනක හා උපාංග වල ආරක්‍ෂාව ගැනත් කතා කරනවා. 

පුද්ගල ආරක්‍ෂාව.
පරිගනක කාර්මිකයෙකු මුහුණ දෙන අනතුරු ගණනාවක් තියනවා. මේවායින් ප්‍රධාන දේ කුමක්ද?

ඔබ දැනටම දැක ඇති මෙම සලකුණ. නොදන්නා අය හොඳින් නැවත බලන්න. මෙයින් නිරූපනය වන්නේ අධි වෝල්ටීයතා ඇති බවයි. අපේ පරිගනකයේ ස්ථාන කීපයකම මෙම අධිවෝල්ටීයතාවයන් (High Voltages) පවතිනවානේ. හිතන්න පුළුවන්ද? නෑ ඕන නෑ මම ම කියන්නම්. සම්පූර්ණ මොනිටරයම අධිවෝල්ටීයතා කලාපයක් තමා. අළුත් LCD හෝ LED මොනිටර් වලත් මෙම අධිවෝලිටීයතා පවතිනවා. ඒ නිසා ඒවා ඇතුලත පරීක්‍ෂා කිරීමේදී ඒගැන සැලකිලිමත් වන්න. 


මේ හැර සියලුම විදුලි සැපයුම් (Power Supply) භාවිතා කරන්නේ ප්‍රධාන විදුලියයි. මේවා තුලද මෙම අධිවෝලිටීයතා පවතිනවා. මීට අමතරව මේවායේ දෝෂ ඇති විට විදුලි සැපයුම ක්‍රියාවිරහිත කර යම් කාලයක් ගතවනතුරුම මේවායේ ඇති ධාරිත්‍රික (Condenser) විදුලි ආරෝපණ පවතින නිසා ඒවායින් විදුලිසැර වදින්න පුළුවන්.
දෙවනුව සඳහන් කරන්න පුළුවන් වන්නේ සීරීම් තුවාල වීම් තැලීම් වැනි අනතුරු සිදුවන අවස්ථාවන්ය. 

මෙය විශේෂයෙන් පරිගනක එකලස් කිරීමේදී (Assembling) සිදුවේ. මේවායේ ඇති තියුණු ලෝහ දාර වල වැදීමෙන් කැපීම් හා සීරිම් සිදුවීම බහුලය. මේ සඳහා ආරක්‍ෂක පියවරක් ලෙස අත් ආවරණ පැළඳීමද ප්‍රායෝගික නොවේ. එනිසා වැදගත් වන්නේ ඉතා සැලකිල්ලෙන් වැඩ කිරීමයි. තවද ආයුධ වලින් සිදුවන අනතුරු ආදිය මෙන්ම බර වැඩි මොනිටර් වැනි දේ පාදය මතට වැටීමෙන් පවා අනතුරු සිදුවේ. කොටස් දෙකට ගලවා ඈත් කිරීමේදී ඒවා අතරට ශරීර කොටස් (වි‍ශේෂයෙන් ඇඟිලි) හසුවීමට පුළුවන්.

මීට අමතරව LCD තිර බිඳී යාමෙන් ඒවායේ ඇති රසායන ශරීරයේ තැවරෙන්න පුළුවන්. මේවා විශ සහිත රසායනයන් වේ. තවද සේවා සිදුකිරීමේදී ඇතුලත ඇති දූවිලි අපද්‍රව්‍ය ඉවත් කරන නිසා ඒවා ශරීර ගතවීමෙන් රොගාබාධ ඇතිවෙන් පුළුවන්.  ඉහත මූලික කරුණු ගැන අවධානය යොමුකීරීම කාර්මිකයෙකුට ප්‍රයෝජනවත්ය.

උපාංග වල ආරක්‍ෂාව
උපාංග වල ආරක්‍ෂාව කොටස් ගණනාවකින් විස්තර කරන්න පුළුවන්. 

මේ පින්තූරෙන් කියන්නේ මොනවද?
මෙම රූපය දක්වා ඇත්තේ එහි සඳහන් උපකරණ ස්ථිති විදුලියට (Electrostatics)සංවේදී බවයි. මතකද අපි කුඩා කල පනාවක් වියලි හිසකෙස් හෝ සිල්ක් රෙදි කඩක පිරිමැද කුඩා කඩදාසි කැබලි නැතිනම් රෙජිෆෝම් කැබලි වලට ලංකලාම ඇදී එන ආකාරය. එසේ වන්නේ මෙම Electrostatics නිසා තමයි. මෙය ඇත්තටම විදුලි ආරෝපනයක්. මෙම ආරොපණ අපේ ශරීරයේ මෙන්ම ප්ලාස්ටික්, පොලිතීන් වැනි දේ මත ඇති වන්න පුළුවන්. විශේෂයෙන් වියලි කාලයට මෙසේ ආරෝපනය වනවා වැඩියි. මෙම සඳහන් උපාංග මෙම Electrostatics වලට අධිසංවේදී බවක් දක්වනවා. එනම් Electrostatics මගින් මෙම උපාංගයන්ගේ ඇති සියුම් උපකරණවලට හානි සිදුවේ. මේවා සපයන්නේ මෙම විදුලියට ආවරණය කළ උරයක් තුලයි. එහෙත් එයින් පිටතට ගැනීමේදී ස්ථිති විදුලියට නිරාවරණය වෙන්න පුළුවන්. මෙයින් වැලකෙන්න බැරිද?

ඒ සඳහා තමා කලින් පොස්ට් එකේ Anti static wrist wrap හා Anti static mat එකක් ගැන සඳහන් කලේ. එයින් ස්ථිති විදුලිය ලුහුවක් කරන්න (discharge) කරන්න පුළුවන්. එවැන්නක් නැතිනම් අත සෝදා පිසදා ගන්න. නැතිනම් වරින් වර භූගත කරන ලද යකඩ පෘෂ්ඨයක් ස්පර්ශ කරන්න. නමුත් මේවා නිවැරදිම ක්‍රම නොවේ. නිවැරදි ක්‍රමය වන්නේ Anti static wrist wrap භාවිතයයි. Anti static wrist wrap භාවිතය ගැනත් මෙතනදීම කියන්නම්. Anti static wrist wrap භාවිතා කිරීමේදී එහි අග්‍රය හොඳින් බිම්ගත කරන්න. Anti static mat ද හොඳන් බිම්ගත කළ යුතුය. කෙසේ වෙතත් ස්ථිති විදුලිය ආරෝපණය වීම වැඩි වියලි අවස්ථාවන්හිදී. විශේෂයෙන් වායු සමනය කළ පරිසරයේ වැඩි බව මම දන්නේ අත්දැකීමෙන්. හේතුව ලංකාව වැනි තෙත් කලාපීය රටක වායුසමනය කළ කාමර වියලි නිසා. එබැවින් එම ස්ථිති ආරොපණ ගැන සැලකිලිමත්ව ආරක්‍ෂක පියවර අනුගමනය කරන්න.

මීළඟට කියන්න යන්නේ මේවායේ ඇති ඉතා කුඩා පරිපථ කොටස් හා උපාංග අප භාවිතා කරන ටූල්ස් නිසා  පහසුවෙන් හානියට ලක්වන්න පුළුවන්. සම්බන්ධක සීරිම නිසා විදුලිය ගමන් නොකිරීම, පරිපථයටම අලවා ඇති සියුම් උපාංග වලට හානි වීම සිදුවෙන්න පුළුවන්. තවද ඉස්කුරුප්පු ඇණ තද කිරීමේදී ප්‍රමාණයට වඩා තද කිරීමෙන් (Over tight) ඒවාට මෙන්ම එවා මගින් සම්බන්ධ වන උපාංග වලටද හානි සිදුවෙන්න පුළුවන්.

කවද Hard disk වැනි උපාංග කම්පනයට ලක්වීම නිසා ක්‍රියා විරහිත වෙන බව දන්නවා ඇතිනේ. එබැවින් මේවා පරිහරණයේදී බිම වැටීම වැනි කම්පනයට ලක්වවන අවස්ථා සඳහා ඉඩ නොදෙන්න. එමෙන්ම ගැලවීමේදී හා නැවත සවිකිරීමේදී ප්ලාස්ටික් හෝ වෙනත් කොටස් බිඳී යා හැකි නිසා ප්‍රමාණය ඉක්මවා බලය යොදා ඒවා ගලවන්න උත්සාහ නොකරන්න. විශේෂයෙන් ක්ලිප් කර ඇති සබඳතා පහසුවෙන් කැඩෙන්න පුළුවන්.

No comments: