පාසල් විෂයමාලාවේ පවතින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන සිසුන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම ගැලපීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක් ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ලද පාසල් සිසුන් සඳහා ඔවුන්ගේ සුදුසුකම් හා වෘත්තීය නිපුණතාව මත අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 2 හෝ 3 මට්ටම් ප්‍රදානය කිරිමට අඳාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ හා ගරු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, අධ්‍යාපන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා, අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ආර්.දේශප්‍රිය මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා ඇතුලු අමාත්‍යාංශ දෙකෙහි නිලධාරින්ගේ සහ ඊට අනුබද්ධ අයතනයන්හි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් 2012-12-18 දින යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මේ අනුව තොරතුරු තාක්ෂණ විෂයය හදාරන ලද පාසල් සිසුන් සඳහා පහත පරිදි ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම් ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

අ.පො.ස.(සා/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලු ම සිසුන් සඳහා NVQ 2 මට්ටම ලබා දෙන අතර මෙම සිසුන් ඇගයීමකට ලක් කර ඉන් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 3 මට්ටම ලබාදීම.

අ.පො.ස.(උ/පෙළ) සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලුම සිසුන් සඳහා NVQ 2 මට්ටම ලබා දෙන අතර මෙම සිසුන් ඇගයීමකට ලක් කර ඉන් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 3 මට්ටම ලබාදීම.

අ.පො.ස. (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලුම සිසුන්ට NVQ 3 මට්ටම ලබාදෙන අතර මෙම සිසුන් ඇගයීමට ලක්කර එයින් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 4 මට්ටම ලබාදීම.

ආරම්භයේ දී NVQ පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයකට එක බැගින් පාසල් හෝ කලාප හෝ පළාත් හෝ පරිගණක විද්‍යාගාර යොදා ගැනීමට නියමිතය.

පාසල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 2 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

කලාප තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 3 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 4 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

උපුටා ගැනීම
Jagath Nilantha facebook පිටුවේ කර තිබූ සටහනක්

No comments: