Home » » FaceBook - දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත්? - ෂමිල පෙරේරා (ada)

FaceBook - දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත්? - ෂමිල පෙරේරා (ada)

Written By Saman Bandara Herath on Sunday, March 9, 2014 | 7:29 AM

'දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' යනුවෙන් අපේ සමාජයේ කියමනක් පවතිනවා. මේ කියමන අද වඩාත්ම යෝග්‍ය මාතෘකාවකට ගැළපීමට අප සිතුවා. ඒ වර්තමානයේ බෙහෙවින් කතා කරන සමාජ ජාල වෙබ් අඩවි වෙතයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා අනුබද්ධිත, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (සර්ට්) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මේ කාර්යයේ සුදුසුම පුද්ගලයෙකු බව පවසමින්, අපේ කතාබහ අරඹන්නේ අතරමං නොවී, දැනගෙන යන්නයි.



ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණු මොනවාද?

ෆේස්බුක් ගිණුමක් තම අනන්‍යතාවත් සමග සකසාගත යුතුයි. තමන් නිවැරදි අනන්‍යතාව අතුළත් කරමින් ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී, තම නම, උපන්දිනය, පාසල හෝ රැකියා ස්ථානය ආදී තොරතුරු එම අඩවිය තුළ හමුවන කවර පිරිසකට විවෘත කරන්නේද යන තීරණය තමා විසින්ම ගත යුතුයි. උදාහරණයක් ලෙස ෆේස්බුක්හි සිටින සියල්ලන්ටම මේ තොරතුරු විවෘත කරනවාද, එසේ නොමැති නම් තමාගේ මිතුරු පිරිසට පමණක් බැලීමට හැකි ලෙස සකසනවාද, (සාමාන්‍යයෙන් ෆේස්බුක් ගිණුමක් විවෘත කළ සැණින් එහි අපට මිතුරන් හමු නොවන අතර, එහිදී අප මිතුරන්ට ඇරයුමක් (Request) කළ යුතු අතර, එසේ නොමැති නම් මිතුරන් විසින් තමාට ඇරයුමක් එවීමෙන් මිතුරන් ඇති වෙයි.) යන්න තීරණය කළ යුතුයි.

එමෙන්ම තමන් ඇරයුම් කරන්නේ හොඳින්ම දන්නා මිතුරන්ටද, එසේම තමන්ට ඇරයුම් ලැබෙන්නේ හොඳින්ම දන්නා මිතුරන්ගෙන්ද බව දැන ඔවුන් තම මිතුරු පිරිසටපිළිගැනීම (Accept) සිදුකළ යුතුයි. එනම්, යම් ඇරයුමක් කරන විට හෝ ඇරයුමක් ලැබෙන විට, වෙනයම් මාර්ගයකින් (වෙනත් මිතුරෙකුගෙන් විමසා ආදී වශයෙන්) මේ තමා හොඳින් දන්නා හඳුනන කෙනාගේ ගිණුමමද යන්න දැන ඒ ඇරයුම භාර ගැනීම සිදුකළ යුතුයි.

මේ ආකාරයෙන්, තම මිතුරු පිරිසට පමණක් තමාගේ තොරතුරු හුමවාරු වන ලෙස ෆේස්බුක් ගිණුම සකසා ගැනීමේදී ඔබ විසින් ඇතුළත් කරන ඡායාරූප හා අදහස් හුවමාරුවන්නේ ඒ පිරිස අතර පමණයි. එසේම තම ඥාති හිතමිත්‍රාදීන් අතරේ වුවද, කිහිප දෙනෙකුට පමණක් බැලීමට හැකි ආකාරයේ එම ඡායාරූප හෝ තොරතුරු ඇතුළත් කිරීමටද ෆේස්බුක් ගිණුම තුළ අවස්ථාව පවතිනවා. මේ තුළින් ඔබේ පෞද්ගලික තොරතුරු පිටස්තරයන් අතට යෑම වළක්වා ගත හැකියි.

එමෙන්ම යම් අයෙකු කිසියම් ලින්ක් (Link) එකක් එවමින්, එය බලන ලෙස ඉල්ලීමක් කරන්නේ නම්, ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු නම් පමණක් එම ලින්ක් එක විවෘත කිරීම යෝග්‍ය වෙනවා. මෙය පණිවුඩයක් (Message) ලෙස හෝ චැට් (Chat) එකේ පැමිණීමට හැකියි. ඇතැම් අවස්ථාවල මෙවැනි ලින්ක් එකක් ක්‍රියාත්මක කිරීමේදී ෆේස්බුක් ආකාරයෙන්ම භාවිත කරන්නාගේ නම (UserName) සහ මුරපදය (Password) ඇතුළත් කරන ලෙස වින්ඩෝ (Window) එකක් පැමිණීමට පුළුවන්. එය ඔබේ තොරතුරු සොරාගැනීම සඳහා ව්‍යාජ ලෙස සැකසූ වෙබ් පිටුවක් විය හැකියි. ‍ෆේස්බුක් මෙන්ම ඊමේල් පරීක්ෂාවේදී හා අන්තර්ජාලයේ සැරිසරද්දී දකින දකින සෑම ලින්ක් එකක් මතම 'ක්ලික්' නොකරන ලෙස පවසන්නේ මෙවැනි අනතුරු පැවතිය හැකි නිසයි.

ෆේස්බුක් ගිණුමට මුරපදයක් යෙදීමේදීත් මේ ආකාරයේම සැලකිල්ලයක් යොමුකළ යුතුයි නේද?

සැබවින්ම ඔව්, තම ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් (Strong) මුරපදයක් (Password) යොදාගැනීමට ඔබ වගබලාගත යුතුයි. මෙහි ශක්තිමත් (Strong) මුරපදයක් යැයි කියන්නේ, 'ඉංග්‍රීසි සිම්පල්' අකුරු, ඉලක්කම් හා 'සිම්බල්' ආදියේ එකතුවකුයි. අවම තරමින් එවැනි අකුරු, ඉලක්කම්, 'සිම්බල්' 8 කවත් එකතුවක් ඔබේ මුරපදයේ පැවතිය යුතුයි.
ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව සඳහා තම ජංගම දුරකථනය යොදාගත හැකි තවත් අවස්ථා තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්, එහිදී තමන් ෆේස්බුක් ගිණුමට ඇතුළු වන සෑම අවස්ථාවකදීම තවත් මුරපදයක් (ඉලක්කම් පහක හෝ හයක අංකයක්) ලෙස ‍කෙටි පණිවඩුයක් ජංගම දුරකථනයට ලබාගැනීමට ඉල්ලීමක් කළ හැකියි. ඒ අනුව,තම ෆේස්බුක් මුරපදය මෙන්ම, ජංගම දුරකථනයට පැමිණෙන ඉලක්කම් කිහිපයද ඇතුළත් කළ පසුගිණුමට පිවිසීමට ගිණුම් හිමියාට අවස්ථාව පවතිනවා.

මෙය ක්‍රියාත්මක කිරීමෙන් සැලසෙන වාසිය නම්, යම් පිටස්තරයෙක් ඔබේ ගිණුමට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ස්වයංක්‍රීයවම ඔබේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවඩුයක් ලැබීමයි. එහිදී තම ගිණුමට යමෙකු ඇතුළු වීමට උත්සාහ කළ බව වටහාගත හැකි අතර, එසේ ඇතුළු වීමට උත්සාහ කළ තැනැත්තාටද කෙටි පණිවුඩය හරහා ලැබෙන රහස්‍ය අංකය නොලැබෙන බැවින් එම ගිණුමට ඇතුළු වීමට නොහැකි වෙනවා. මෙවැන්නක් කරදරකාරී ක්‍රියාවක් ලෙස සිතුවත්, ෆේස්බුක් භාවිත කිරීමේදී එය වඩාත් ආරක්ෂිත පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.

ෆේස්බුක් ගිණුමට යම් පිටස්තරයෙකු ඇතුළු වී ඇති බව දන්නේ නම් ඊට ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සිදුවී ඇති දේ අනුව එය තීරණය වෙනවා. උදාහරණයක් ලෙස යමෙකු ඔබේ ගිණුමට ඇතුළු වී විවිධ ඡායාරූප හෝ අදහස් එකතු කර මුරපද වෙනස් නොකර සිටින්නේ නම්, වහාම තම ගිණුමේ ආරක්ෂිත උපාංග (Security Settings) වෙනස් කළ යුතුයි.

මුරපදය, ආරක්ෂිත ප්‍රශ්න, ඊමේල් ගිණුමේ මුරපදය වෙනස් කළේ නම්, තම මුරපදය හොරෙන් ගත් පුද්ගලයාට යළි ඒ ක්‍රියාව කළ නොහැකි වෙනවා. මීට අමතරව, තමන්ට ගිණුමට ඇතුළු විය නොහැකි නම්, පෙර සඳහන් කළ ආකාරයට මුරපදය නැවත ලබාගැනීමට (Password Recover) කරගැනීමට අවස්ථාව පවතිනවා. මීට අමතරව යම් ගැටලුවක් මතු වූයේ නම් තාක්ෂණික වශයෙන් මෙය සිදුකර ගන්නේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදීමට සර්ට් ආයතනයේ සහාය ලබාගත හැකියි.

කෙසේ වෙතත්, යම් ගිණුමක් කිසිම විදියකින් නැවත ලබාගැනීමට (Password Recover) හැකියාවක් නොමැති වීමත්, එය වෙනත් අයෙකු පාවිච්චි කරන බවත් දන්නේ නම්, එම ගිණුමේ තම පෞද්ගලික තොරතුරු අඩංගු වන නිසා අදාළ ගිණුම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරවන ලෙස (Deactivate) ඉල්ලීමක් (Request) ෆේස්බුක් වෙත යැවීමට පුළුවන්.

ෆේස්බුක් පරිහරණයේදී කාන්තාවන් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු කාරණා තිබේද?

ෆේස්බුක් යනු අපට ඡායාරූප හා ඒවාට අදහස් පළ කිරීමේ හැකියාව ඇති සමාජ ජාල අඩවියක් නිසා, අප මීට ඡායාරූප ඇතුළත් කිරීමේදී අදාළ උපාංග සැකසුම් (Settings) නිවැරදිව සිදු නොකළහොත්, වැරදි පුද්ගලයන් අතට ඔබේ පෞද්ගලික ඡායාරූප හෝ අදහස් ගලා යා හැකියි. උදාහරණයක් ලෙස ෆේස්බුක් හි සියල්ලටම බැලීමට හැකි ලෙස ඡායාරූපයක් ඊට ඇතුළත් කළහොත් ඕනෑම අයෙකුට එය බැලීමට, ඩවුන්ලෝඩ් කරගැනීමට මෙන්ම එය සංස්කරණය කර වෙනස්කම්වලට භාජනය කිරීමටද හැකියාව පවතිනවා.

වර්තමානයේදී ස්මාර්ට් ජංගම දුරකථන පවතින නිසා යන ඕනෑම තැනක ඡායාරූප ගනිමින් ඒවා ෆේස්බුක් ඇතුළත් කරන ආකාරයක් දැකිය හැකියි. එමෙන්ම, එසේ ලබාගන්නා ඡායාරූප කිසිදු විමසීමකින් තොරව ෆෙස්බුක් හි හමුවන නාඳුනන අය අතරද හුවමාරු කරන්නේ, ඔහු තමා කැමතිම සිංදු අහන්නෙක්, ලස්සන නමක් ඇත්තෙක් හෝ එවැනි පටු තීරණයක් තුළයි. උදාහරණයක් ලෙස අප පාරේ ඇවිද යනවිට හමුවන සෑම අයෙකුම සමග අපේ පෞද්ගලික තොරතුරු කතා නොකරන ආකාරයෙන්, ෆේස්බුක් තුළද තමා දන්නා හඳුනන අය සමග පමණක් ඇසුර තබාගැනීම නුවණට හුරුයි.

ෆේස්බුක් කියන්නෙ අප සීමා කළ යුතු නරක දෙයක්ද?

සැබවින්ම ෆේස්බුක් යනු නරක දෙයක් නොවෙයි. එය පාවිච්චි කරන ආකාරය මත සියල්ල තීරණය වෙනවා. තමුන් තමුන්ට අවංක වෙමින් තම ෆේස්බුක් ගිණුම නිවැරදිව පාවිච්චි කරනවා නම්, තම ඥාති හිතමිත්‍රාදීන් සමග පමණක් සම්බන්ධතාව පවත්වාගෙන යනවා නම්, අනවශ්‍ය ගැටලුවක් ඇති නොවී ලෝකයේ කොහේ සිටියත් ඔවුන් සමග තොරතුරු හුවමාරු කරගැනීමට බාධාවක් ඇති වන්නේ නැහැ.

ඡායාරූප AFP ඇසුරෙනි
ෂමිල පෙරේරා
ada

1 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...