පයිතන් යනු

පයිතන් යනු
පයිතන් යනු පරිගණක ක්‍රමලේඛ භාෂාවකි. මෙය දැනට ඇති ඉගෙනීමට පහසු ම හා පරිගණක ක්‍රමලේඛනයට අත්පොත් තබන්නන්ට තම මූලික අඩිතාලම සකසාගැනීමට යොදාගත හැකි බලවත් මෙන් ම භාවිතයට පහසු පරිගණක ක්‍රමලේඛ භාෂාවක් ලෙස වැඩිදුරටත් හඳුන්වාදිය හැකි ය. පයිතන් 90 දශකයේ මුල් භාගයේ, C භාෂාවේ පැවැති අඩුපාඩු ඉවත් කොට එයට වඩා උසස් වස්තු මූලික (Object Oriented) බවක් ලබාදීමට ගත් උත්සාහයක් පමණක් වූ නමුත්, එය නිදහස් මෘදුකාංගයක් ලෙස මහජනයා අතට පත්වීම හේතුවෙන් එහි නිර්මාපකයන්ගේ අරමුණු අභිබවා යමින්, බලවත් පරිගණක භාෂාවක් බවට පත් විය. අද දින ශ්‍රී ලාංකීය උසස්පෙළ විෂය නිර්දේශයට පවා ඇතුළත් ව ඇති මෙම භාෂාව පරිගණක ක්‍රමලේඛනයට පිවිසෙන ඕනෑම වයස් කාණ්ඩයක අයට උචිත භාෂාවක් ලෙස නිර්දේශ කරමු.
එපමණක් නොව ලොව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආක්‍රමණය කළ සෑම ක්‍ෂේ‍ත්‍ර‍යකම පාහේ පයිතන් භාෂාව ද රැඳී සිටී. ලොව විශාලතම අන්තර්ජාලගත සේවා සපයන්නා වන ගූගල් සමාගම තම යාන්ත්‍රණය සඳහා බහුලව යොදාගන්නා භාෂාවකි පයිතන්. එපමණක් නොව ඇමරිකානු ජාතික අභ්‍යවකාශ ඒජන්සිය (NASA) පවා තම පරීක්ෂණ කටයුතු සඳහා මෙය යොදාගන්නා බැවින් ම මෙහි ඇති විශ්වසනීයත්වය හා බලය තහවුරු නොවන්නේ ද?

පයිතන් භාෂාවේ වාසි

නිදහස් හා විවෘත මෘදුකාංගයක් වීම

නිදහස් හා විවෘත මෘදුකාංගයක් වීමේ ප්‍රධානතම වාසිය වනුයේ කේත රචකයාට තමා ලියන කේතයේ පූර්ණ අයිතිය හිමි වීමයි. වාණිජ වැඩසටහන්කරණ මෘදුකාංග (උදා - Visual Basic, .net) වැනි මෘදුකාංග භාවිතයෙන් ලියූ වැඩසටහන්වල අයිතිය හිමිවන්නේ එම කේතය ලියූ පුද්ගලයාට නොව එම වැඩසටහන අයිති සමාගමට බව ඔබ දන්නවා ද?, එයින් ම ඒවා භාවිතයේ ඇති අවදානම ඔබට වැටහෙනු ඇත.
එපමණක් නොව මෙය විවෘත මෘදුකාංගයක් වීම එනම් කේතය නිදහස් වීම හේතුකොටගෙන ලොව නන්දෙස සිටින සංවර්ධකයන් අතින් ඉතා ශීඝ්‍රයෙන් මෙම භාෂාව දියුණු වීම නිසා වඩා නිවැරදි කේතයෙන් යුතු, වැඩිදියුණු කළ සංස්කරණ නිරන්තරයෙන් ලැබීමේ අවකාශ පවතී. එම නිසා වාණිජ මෘදුකාංග මෙන් වරදක් නිවැරදි කිරීමට හෝ නව සංස්කරණ ලබාගැනීමට අවුරුදු 5කට වඩා කාලයක් එම වැරදි සමග බලාසිටීමට සිදු නො වේ.

ප්‍රජා සහාය

මෙම භාෂාව වටා සංවර්ධකයන්, නිමැයුම් කරුවන්, සිසුන්, ගුරුවරුන් වැනි නා නා විධි පුද්ගලයන් මිලියන ගණනාවකින් සැදි ප්‍රජාවක් බිහිව ඇති නිසා පැනනගින ගැටලු නිරාකරණයට පමණක් නො ව යමෙකුට මුල සිට ඉගෙනීම සඳහා අපිරිමිත සහායක් ලැබිය හැකියි. (උදා : ලංකාවේ අධ්‍යාපනයට මෙය ඇතුළත් කිරීමට යෝජනා කිරීමටත් වසර කිහිපයකට පෙර මෙම ලිපියේ කර්තෘ පයිතන් භාෂාව හැදෑරීමට උපයෝගී කරගත්තේ ඒ වටා එක් වූ පුද්ගලයන් හා ඔවුන් අතින් ලියැවුණු ලේඛන යි). මෙයට වෙන්වූ සංවාද මණ්ඩපවල හා බුලටින් ෆෝරම්වල ඔබට නොමිලේ, අපිරිමිත දැනුමක් ලබාදීමට සැදී පැහැදී සිටින පුද්ගලයන් මිලියන ගණනක් හමුවීමට පුළුවන. එහෙයින් ලක්ෂ‍ ගණනින් මුදල් අය කරන පාඨමාලා හැදෑරීම අනවශ්‍යයි.

වේදිකාන්තර ගුණාංගය (Cross Platform)

මේ භාෂාවේ ප්‍රධානතම විශේෂාංගය වන්නේ මෙය යි. මෙහි දී ඔබ ලියන කේතය කිසිඳු වෙනස් කමකට ලක් නොකර ඕනෑම මෙහෙයුම් පද්ධතියක් මත ධාවනය කිරීමට පුළුවන. වින්ඩෝස්, ලිනක්ස්, මැකින්ටොශ් හා වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියකට අප ලියන කේතය පොදු වෙයි. (write once, run anywhere), මෙහි වෙනස් කළ යුතුවන්නේ පයිතන් අඩිතාලම පමණකි. එය පයිතන් භාවිත කරන්නෙකුට කිසිදා කරදර වීමට අවැසි නොවන, භාෂා සංවර්ධකයන් අතින් කෙරෙන කාර්යයක් නිසාත්, දැනට ඇති ප්‍රධාන මෙහෙයුම් පද්ධති සියල්ලටම සකසා අවසන් නිසාත් එහි වාසිය පහසුවෙන් ලද හැකියි.

මිල

ඔව් ඔබ සිතුවා නිවැරදියි! මෙය www.python.org වෙතින් සම්පූර්ණයෙන් ම නොමිලේ ලබාදෙන අතර පසුව පැමිණෙන වැඩිදියුණු කිරීම් සියල්ල ද මුළුමනින් ම නොමිලේ සපයනු ලැබේ.

වැඩිදියුණු වීම හා භාවිතය

මෙම භාෂාව පෙර පැවසූ අයුරින් ම ප්‍රජාව අතින් සංවර්ධනය වන නිසාම පටු ක්ෂේත්‍රයන්හි නොනැවතී සිතාගත හැකි සෑම අංශයක් කරා ම පැතිරී ඇත. අතිවිශාල මොඩියුල ප්‍රමාණයක් හා ලයිබ්‍රරි ප්‍රමාණයක් පවතින නිසා පහසුවෙන් ඕනෑ ම කාර්යයකට උචිත ලෙස මෙමගින් කේත රචනා කළ හැකි ය (උදා : පරිගණක ක්‍රීඩා, ජාලගත භාවිත යෙදවුම් වැනි දෑ). තව ද මෙය අනෙකුත් භාෂා සමග ද සහයෝගී ව කටයුතු කරයි. විශේෂයෙන්ම C පාදක කරගත් භාෂාවන්ට සහාය දක්වන්නා සේ ම, සම්පූර්ණයෙන් ම වෙනස් වාණිජ භාෂා වන .net වේදිකාවට ද සහාය දක්වන බැවින්, කේත රචකයාට ඇති සීමා අඩු කරයි.

ලිවීම හා කියවීම

ඉංග්‍රීසි භාෂාවට බොහෝ සමාන අතිශය සරල කේතයක් මෙහි පවතින බැවින් ලිවීම මෙන් ම ලියූ කේතයක් කියවා තේරුම් ගැනීම ද ඉතා පහසු යි. මෙය වැඩසටහන්කරණයේ ඉතා වැදගත් මූලධර්මයකි.

මෙම ලිපිය http://sourceforge.net වෙතින් උපුටා ගැනුනු ලිපියකි. එම පිටුව වෙත යාමට මෙතන ක්ලික් කරන්න.

1 comment:

Anonymous said...

Python programme eka uganwana widihe kisima aduwak naha. hondata teacherslata therenawa.thank U very much.